මෙරට නැවුම් පළතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නැවුම් අන්නාසි සහිත ප්රථම කන්ටේනරය පකිස්තාන වෙළඳපොළ වෙත අපනයනය කිරීමට සාර්ථකව ඇසුරුම් කර තිබේ.
මෙය පකිස්තානය තුළ ශ්රී ලාංකේය අන්නාසි සඳහා වෙළඳපොළ ප්රවේශය පුළුල් කිරීමේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කර ඇත.
මේ සඳහා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, පකිස්තානයේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සහ වාණිජ දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජාතික ශාක නිරෝධායන සේවය විසින් ලබාදුන් තාක්ෂණික සහයෝගය ද හේතු වී තිබේ.
මෙම අපනයන අවස්ථාව උදා වී ඇත්තේ ශ්රී ලංකාවේ සහ පකිස්තානයේ ජාතික ශාක ආරක්ෂණ සංවිධාන අතර පැවති දීර්ඝ තාක්ෂණික සාකච්ඡා සහ සමීප සහයෝගීතාවයේ ප්රතිඵලයක් ලෙසිනි.
මිලියන 252ක පමණ ජනගහනයක් සහිත පකිස්තානය, ශ්රී ලංකාවේ අන්නාසි සඳහා ඉතා ඉහළ විභවයක් සහිත වෙළඳපොළකි.
පකිස්තානය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 10ක පමණ වටිනාකමකින් යුත් අන්නාසි මෙට්රික් ටොන් 2,000–5,000ත් අතර ප්රමාණයක් ආනයනය කරනු ලබයි.
දැනට තායිලන්තය සහ පිලිපීනය පකිස්තාන වෙළඳපොළේ ප්රධාන සැපයුම්කරුවන් ලෙස රැඳී සිටියද, ශ්රී ලාංකේය අන්නාසිවල ඇති සුවිශේෂී රසය, උසස් ගුණාත්මකභාවය සහ නැවුම් බව මෙන්ම දෙරට අතර පවතින භූගෝලීය සමීපත්වය හේතුවෙන් වෙළඳපොළේ වැඩි කොටසක් හිමිකර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.



