Homeදේශීය1983 ගැන ජනාධිපති කොමිසමක් එයිද

1983 ගැන ජනාධිපති කොමිසමක් එයිද

1983 වසරේ සිදුවූ ‘කළු ජූලි’ ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සහ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් සත්‍ය සෙවීම, සිදුවූ හානි තක්සේරු කිරීම සහ එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමිර්තනාදන් අඩෙක්කලනාදන් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව 2026 සැප්තැම්බර් 11 වන සිකුරාදා දිනැති පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ‘යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත වැඩකටයුතු යටතේ P. 132/2026 අංකයෙන් ඇතුළත් කර ඇත.

අදාළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මඟින් පෙන්වා දෙන්නේ, 1983 කළු ජූලිය සහ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ඝාතන ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියාවන් හේතුවෙන් මෙරට ජාතික ඒකාබද්ධතාව, සමාජ ව්‍යුහය සහ ආර්ථිකය දැඩි පසුබෑමකට මෙන්ම කැළලකට ලක්වූ බවයි.

එම ගැටුම්කාරී වාතාවරණයේදී දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්ව, දස දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන්ව සරණාගතයන් බවට පත්වූ අතර, නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල දේපළ ප්‍රමාණයක් ගිනිබත් කර විනාශයට පත් කෙරිණි.

මෙම සිදුවීම් මාලාව සිදුවී වසර හතළිහකට වැඩි කාලයක් ගතවී ඇතත්, ඊට වගකිවයුතු හෝ ඒවා මෙහෙයවූ පාර්ශ්ව මෙතෙක් නිසි ලෙස හඳුනාගෙන නොමැති බවත්, සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා දේපළ හානි සම්බන්ධයෙන් පුළුල් හා ස්වාධීන විමර්ශනයක් මෙතෙක් සිදුව නොමැති බවත් මන්ත්‍රීවරයා සිය යෝජනාව මඟින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ මෙවැනි ජනවාර්ගික ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා නැවත කිසිදු දිනක සිදු නොවීම තහවුරු කිරීමත්, රටේ සියලුම ජන කොටස් අතර තිරසර සමාජ සමගිය හා සංහිඳියාව ගොඩනැඟීමත් කාලීන අවශ්‍යතාවක් බව යෝජනාවේ අවධාරණය කර තිබේ.

ඒ අනුව, 1983 ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පූර්ණ සත්‍යය අනාවරණය කර ගැනීම, සිදු වූ විනාශයන් නිවැරදිව තක්සේරු කිරීම සහ අනාගතයේදී එවැනි ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීම සඳහා වන ප්‍රතිපත්තිමය නිර්දේශ රජයට ලබාදීම වෙනුවෙන් පූර්ණ බලතල සහිත ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළ යුතු බවට මෙම යෝජනාව මඟින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments