මාධ්‍ය මර්දනයට සැරසෙන වරලත් ආයතන කෙටුම්පත වහා හකුලා ගනු යනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA)
ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍ය සමාජය විසින් මාධ්‍ය වෘත්තිකයින් වෙනුවෙන් වූ වරලත් ආයතනයක අවශ්‍යතාවය අවධාරණය කරනු ලැබූයේ වසර ගණනාවක සිටය. එය මාධ්‍ය සමාජයට අමතක වෙමින් පවතින මොහොතක, වරලත් ආයතනයක් පිහිටුවීම සඳහා වන කෙටුම්පතක් පසුගියදා (2026-06-05 දාතමින්) අංකයක් රහිත ගැසට් පත්‍රයක් ලෙස එළිදැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සියුම්ව අධ්‍යයනය කරන ලදී.
එහිදී අප වෙත පැහැදිලිවම පෙනීගිය කාරණය වන්නේ, මෙම ආයතනය බිහි කිරීමට දරන උත්සාහයේදී රාජ්‍යයේ අරමුණ වෙනත් තලයක, එනම් මාධ්‍ය මර්දනකාරී වටපිටාවක පවතින බවයි. මාධ්‍යවේදීන්ගේ නිදහස, අදීනත්වය, සුබසාධනය, වෘත්තීයභාවය හා ආචාරධර්ම ප්‍රවර්ධනය, මාධ්‍ය අධ්‍යයනය වැනි කටයුතු හසුරවනු ලබන ස්වාධීන ආයතනික ව්‍යුහයක් මාධ්‍ය වෘත්තිකයින් වෙනුවෙන් වෙන්වන වරලත් ආයතනයක් සතුවිය යුතු බව අපගේ දැඩි විශ්වාසයයි. එහෙත් මෙම ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත මාධ්‍ය වෘත්තිකයන් සඳහා වන වරලත් ආයතනය, පාලනය වන්නේ මාධ්‍ය ඇමතිවරයා විසින් පත්කරනු ලබන ඔහුට ගැති මාධ්‍ය හෝ වෙනත් වෘත්තිකයන්ගෙන් වීම උත්ප්රාසජනක කරුණක් වන අතර, පනතේ අන්තර්ගත අතිශය භයානක වගන්ති කිහිපයක් පිළිබඳව සමස්ත මාධ්‍ය ක්ෂේත්රයේම අවධානය යොමු කරවීමට අප කැමැත්තෙමු.
පනත් කෙටුම්පතේ අඩංගු මර්දනකාරී වගන්ති:
- පාලනාධිකාරිය රජයේ සහ අමාත්‍යවරයාගේ ඍජු ග්‍රහණයට නතු කිරීම:
o 5(4)(අ) වගන්තිය: ස්ථිර සභාව පත් කරන තෙක් ආයතනය පාලනය කිරීමට “අතුරු සභාවක්” පත් කිරීමේ පූර්ණ බලය විෂය භාර අමාත්‍යවරයාට හිමි වේ.
o 5(4)(අ)(i) සහ (ii) වගන්ති: මෙම අතුරු සභාව සමන්විත වන්නේ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ලේකම්වරයා විසින් නම් කරනු ලබන (අමාත්‍යවරයාගේ එකඟතාවය සහිත) තවත් සාමාජිකයන් හය දෙනෙකුගෙනි.
o 5(4)(ආ) වගන්තිය: ස්ථිර සභාවේ සාමාජිකයන් තෝරා පත් කර ගැනීමේ නිර්ණායක සකස් කිරීමේ බලය හිමි වන්නේ ද රජය විසින් පත් කරන ලද මෙම අතුරු සභාවටමය.
මේ අනුව, ආයතනයේ පාලනාධිකාරිය අනාගතයේදී පත්වන්නේ උද්දච්ඡ හෝ අමනෝඥ මාධ්‍ය ඇමතිවරයෙකුගේ රුචිකත්වය පරිදි ඔහුට “ගැති” පිරිසකගෙනි.
- විනය පාලනය මගින් මාධ්‍යවේදීන් දඬුවමට ලක් කරන “පොලිසියක්” බිහි කිරීම:
o 12(1)(ඇ) වගන්තිය: සාමාජිකයන් සම්බන්ධ විනය කාරණා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට “විනය කමිටුවක්” පත් කරනු ලැබේ.
o 23(1) සහ (2) වගන්ති: සභාව විසින් සාදනු ලබන රීති මගින් තීරණය කරනු ලබන “වෘත්තීය විෂමාචාර” (Professional Misconduct) සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ පුළුල් බලය මෙම කමිටුවට ඇත.
o 24 වගන්තිය: යම් මාධ්‍යවේදියෙකු වෘත්තීය විෂමාචාරයකට වැරදිකරු වුවහොත් ඔහුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට, අවවාද කිරීමට හෝ වසරකට නොවැඩි කාලයකට සාමාජිකත්වය අත්හිටුවීමට පාලක සභාවට බලය පවරා ඇත. වෘත්තීයභාවය ප්‍රවර්ධනයට වඩා වෘත්තීයභාවය මර්දනයට ලක්කිරීමේ අරමුණක් මෙහි අන්තර්ගත වන බව මෙයින් තහවුරු වේ. - රෙගුලාසි පැනවීමේ ඒකාධිකාරී බලය අමාත්‍යවරයා සතු වීම:
o 25(1) වගන්තිය: පනත යටතේ රෙගුලාසි සෑදීමේ බලය හිමි වන්නේ අමාත්‍යවරයාටය. මෙමගින් ආයතනයේ ස්වාධීනත්වයට මුළුමනින්ම බාධා පමුණුවමින් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි නීති පැනවීමේ හැකියාව පවතී. - සමස්ත මාධ්‍ය ක්ෂේත්රයම දැලකට කොටු කරගැනීම:
o 27 වගන්තිය: “මාධ්‍ය වෘත්තිකයන්” යන අර්ථ නිරූපණය යටතේ ලේඛකයන්, අන්තර්ගත සංස්කාරකවරුන්, නිවේදකයන්, ප්‍රකාශකයන්, මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍ය කළමනාකරුවන් සහ කැමරා ශිල්පීන් ඇතුළු මාධ්‍ය ක්ෂේත්රයේ සියලු දෙනා මෙම ආයතනයේ පාලනයට සහ විනය නීතිවලට යටත් කර ඇත. - ස්වාධීනත්වය අහිමි කිරීම:
o 4(අ) වගන්තිය: ආයතනයේ එක් කාර්යයක් වන්නේ මාධ්‍ය අධ්‍යාපනය සහ වෘත්තීයභාවය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් ලබා දීමයි.
o 4(න) වගන්තිය: විදේශීය ආධාර හෝ පරිත්‍යාග ලබා ගැනීමේදී මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර ඇත.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (OSA) සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට ප්‍රතිඥා දී බලයට පැමිණි වත්මන් මාලිමා රජය, අද වන විට එම පනත් ප්‍රයෝජනයට ගනිමින් උතුරේ ගායකයන් සහ පෝස්ටර් ඇලවූ තරුණයන් අත්අඩංගුවට ගනිමින් සිටී. දෙමළ ලේඛකයින්ගේ පොතපත අත්අඩංගුවට ගෙන වාරණයට ලක් කරමින්, රජයේ අකටයුතුකම් හෙළි කරනු ලබන මාධ්‍ය ආයතන වල කර්තෘවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවන වටපිටාවක් නිර්මාණය කර ඇත.
එපමණක් නොව,රූපවාහිනී නාලිකාවල විද්‍යුත් මාධ්‍ය බලපත්‍ර අහෝසි කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටින, මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධයන්ට ඉල්ලා සිටින යුක්තිය පිළිබඳව නෑසූකන්ව සිටින, ශක්තිමත්ව ක්‍රියාත්මක වූ තොරතුරු දැනගැනීමේ පනත (RTI) සංශෝධනය කිරීමේ මුවාවෙන් එය දියාරු කරමින් සිටින රජයක් මේ මොහොතේ රට පාලනය කරමින් සිටී. ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන්, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ යොදවමින් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතියට පහරදීම් සහ බාධා පමුණුවමින් සිටී. එවැනි කටයුතු සිදුකරන ආණ්ඩුවක් විසින්, එදා පැවති ආණ්ඩුවක් විසින් ගෙන ඒමට කෙටුම්පත් කළා යැයි පැවසෙන පනතක්ම නැවත ගෙන එමින් රාජ්‍යයේ වරලත්භාවයක් මාධ්‍යවේදීන් වෙත ලබා දීමට උත්සාහ දැරීම අතිශය හාස්‍යජනකය.
ජනමාධ්‍ය සමාජයේ උන්නතිය හෝ ප්‍රවර්ධනය තම ඒකායන ප්‍රාර්ථනය වන රජයක යුතුකම වන්නේ මුදලට ඕනෑම ගුබ්බැයමක රිංගා තම ආත්මය ඇඳිවතේ සිට පාවාදෙන කර්තෘවරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍ය උපදේශකයන්, මාධ්‍යවේදීන් සුළු පිරිසක් යොදා ගෙන මෙවැනි මර්දනකාරී ආයතන ව්‍යුහයන් සැකසීම නොවේ. කළ යුත්තේ, මුළු ජනමාධ්‍ය සමාජයේම පුළුල් කතිකාවක් තුළ මෙවැනි වරලත් ආයතන ව්‍යුහයක් ස්වාධීන ආයතනික රාමුවක් තුළ සැකසීමයි.
මෙම වරලත් ආයතනික ව්‍යූහය රාජ්‍යයෙන් වියුක්ත ස්වාධීන රාමුවක් තුළ ක්‍රියාත්මක නොවන තාක් සිදුවන්නේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය හිමිකරුවන් හඹා එනු ලබන “රාජ්‍ය මර්දනයේ සුළඟ” තව තවත් ශක්තිමත් වීමයි. දැඩි වීමයි.
එබැවින්, මේ මෙහොතේ වරලත් ආයතනයක පහසින් මුසපත්ව ප්‍රීතියෙන් ඉපිළෙන සියල්ලන්ගෙන් මෙන්ම සිංහල, දෙමළ, ඉංග්‍රීසි බසින් මාධ්‍ය හසුරවනු ලබන සමස්ත ජනමාධ්‍ය සමාජයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ අප ගත කරන මේ අනතුරුදායක මොහොත පිළිබඳව දැඩි අවබෝධයෙන් හා අවධානයෙන් පසුවන ලෙසයි. රජයේ පාලනයෙන් තොර ස්වාධීන පාලනාධිකාරිත්වයක් සහිත මාධ්‍ය වෘත්තීකයින් වෙනුවෙන් වෙන්වූ වරලත් ආයතනයක් වෙනුවෙන් එකහෙළා පෙනී සිටින ලෙස අප සහෝදර සමස්ත මාධ්‍ය ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු.
රංග බණ්ඩාරනායක සභාපති
මිතුන් ජයවර්ධන
ලේකම්



