Homeදේශීයඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමි තාවකාලිකව අටමස්ථානාධිපති ධූරයට.

ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමි තාවකාලිකව අටමස්ථානාධිපති ධූරයට.

අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් තාවකාලිකව පත්කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කළ බව මල්වතු මහා විහාරය නිවේදනය කළේය.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හා අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳ පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙනතුරු මෙම තාවකාලික පත්කිරීම සිදුකළ බව එම නිවේදනයේ සඳහන්ය.

මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය,

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය හා අටමස්ථානාධිපති ධුරය පිළිබඳවයි

වර්තමානයේ දී උක්ත ඨානාන්තර ද්විත්වය දරන පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව අවධානය යොමුකොට මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහාසංඝ සභාව විසින් අදාළ පාර්ශ්වයන් ද ගෙන්වා මේ සම්බන්ධයෙන් කරුණු විභාග කරන ලදී.

ඒ අනුව 2026.05.30 දිනතිව රැස් වූ මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවේ දී පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ලැබෙන තෙක්, මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඒ ස්ථවිරයන් වහන්සේ වෙත පත් කර ඇති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට තීරණය කරන ලදී.

එසේම, ගරුතර කාරක මහා සංඝ සභාවේ නියමය පරිදි අටමස්ථාන කමිටුව විසින් තත් කමිටු සාමාජික උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්ථවිර තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර ඇති බවද මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි මෙයින් නිවේදනය කර සිටිමි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments