Homeදේශීයශ්‍රීලංකා නීතිඥ සංගමය හා අධිකරණ සේවා සංගමය පෙරට එයි

ශ්‍රීලංකා නීතිඥ සංගමය හා අධිකරණ සේවා සංගමය පෙරට එයි

නීතිපතිවරයාට එරෙහිව අද උදෑසන නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන පසුබිමක ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ අධිකරණ සේවා සංගමය විශේෂ නිවේදන දෙකක් ඊයේ පස්වරුව වන විට නිකුත් කර තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයාගේ තීරණ ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන සංවිධානාත්මක

ප්‍රචාරණ ව්‍යාපාර පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි අවධානය යොමු කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (20) එම සංගමය පෙන්වා දෙන්නේ, නීතිපතිවරයාට පක්ෂව සහ විපක්ෂව කොළඹදී විරෝධතා සංවිධානය වෙමින් පවතින පසුබිමක මෙවැනි බලපෑම් එල්ල කිරීම නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් බවයි.

අපරාධ නඩු සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමේදී නීතිපතිවරයා කටයුතු කරන්නේ අර්ධ අධිකරණමය (Quasi-judicial) වගකීමක් සහිතව බව ද එකී නිවේදනය මගින් පෙන්වා දෙයි.

එම තීරණ ගත යුත්තේ විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කරන සාක්ෂි මත මිස මහජන මතය හෝ දේශපාලන බලපෑම් මත නොවන බවද එහි සඳහන් වේ.

නීතිපතිවරයාගේ තීරණයක් සම්බන්ධයෙන් යමෙකුට ගැටලුවක් පවතී නම්, එය අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා නීත්‍යානුකූලව අභියෝගයට ලක් කළ හැකි බව නිවේදනයේ සඳහන් වේ.

වික්ටර් අයිවන් එදිරිව සරත් එන්. සිල්වා නඩු තීන්දුව උපුටා දක්වමින් නීතිඥ සංගමය පවසන්නේ, සාධාරණ සහ නිසි විමර්ශනයක් ලැබීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇති බවයි.

සිවිල් පුරවැසියන්ට රජයේ නිලධාරීන්ගේ තීරණ විවේචනය කිරීමට අයිතියක් ඇති මුත්, එය ආයතනික ස්වාධීනත්වය පළුදු කරන මට්ටමේ පක්ෂග්‍රාහී ප්‍රචාරණ ව්‍යාපාරයක් නොවිය යුතු බව නීතිඥ සංගමය අවධාරණය කර සිටියි.

මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය සහ අභිමානය ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස නීතිඥ සංගමය රජයෙන් සහ නීතිය බලාත්මක කරන ආයතනවලින් ඉල්ලා සිටියි.

අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ විනිසුරුවරුන්ට එරෙහිව මෑතකාලීනව එල්ල වන අසත්‍ය හා පදනම් විරහිත විවේචන මඟින්

අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු කිරීමට දරන උත්සාහයන් පිළිබඳව සිය සංගමයේ දැඩි අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පවසයි.

අධිකරණ සේවා සංගමය විසින් මේ බව සඳහන් කරමින් (19) අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණවලට සෘජුව හෝ වක්‍රව බලපෑම් කිරීම දණ්ඩනීය වරදක් බව එම ලිපිය මඟින් අවධාරණය කර තිබේ.

එසේම 2024 අංක 08 දරන ‘අධිකරණයට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම’ පිළිබඳ පනත යටතේ විනිසුරුවරුන්ට අපහාස කිරීම සිරදඬුවම් ලැබිය හැකි වරදකි.

අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම පිටුපස, නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීමේ නිශ්චිත ඉලක්කගත විනාශකාරී වැඩපිළිවෙළක් පවතින්නේද යන්න පිළිබඳව ද සංගමය සිය සැකය මෙම ලිපිය හරහා ඉදිරිපත් කර තිබේ.

පොදු මහජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමටත්, අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන ඕනෑම විනාශකාරී උත්සාහයකට එරෙහිව නීත්‍යානුකූලව ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගැනීමටත් අධිකරණ සේවා සංගමය කිසිවිටෙකත් පසුබට නොවන බව එම ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments