මුස්ලිම් ජාතික හෙද නිලධාරිනියන් වෙනුවෙන් නිල ඇඳුම වෙනස් කිරිම සඳහා මීට වසර 33කට පෙර එච්.එම්.ඒ.එම් හිස්බුල්ලා මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබුණු බව කියන මන්ත්‍රී යෝජනාවකට අනුමැතිය ලැබී ඇති බව ප්‍රකාශ කළත් නිල ඇඳුම් වෙනස් කිරීම සඳහා අනුමැතියක් සහිත කිසිම ලියැවිල්ලක් අමාත්‍යාංශය තුළ නොමැති බවත්, මුස්ලිම් හෙද නිලධාරිනියන් වෙනුවෙන් නිල ඇඳුම වෙනස් කිරීම සඳහා රජය මේ වනතුරු කිසිම තීන්දුවක් ගෙන නැති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි එච්.එම්.ඒ.එම් හිස්බුල්ලා මන්ත්‍රීවරයා නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.ඇමතිවරයා පැවසුවේ රජයේ සෞඛ්‍ය සේවය තුළ නිල ඇඳුමක් වෙනස් කිරීම කළ යුත්තේ යෝජනාවක් මගින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ සභාපතිත්වය දරන නිල ඇඳුම් කමිටුව මගින් බවය.
එම නිල ඇඳුම් කමිටුව වෙත විධිමත් යෝජනාවක් ලැබී නැති බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් ආචාර්ය එච්.එම්.ඒ.එම් හිස්බුල්ලා මන්ත්‍රීවරයා සඳහන් කර ඇති පරිදි ඔහු විසින් පාර්ලිමේන්තුව වෙත 1992 අගෝස්තු මස 07 වැනි දින ඉදිරිපත් කර ඇති බව කියන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට අනුමැතිය ලැබ ඇති බව ප්‍රකාශ කළත් හෙද නිලධාරිනියන්ගේ නිල ඇඳුමට අදාලව එවැනි අනුමැතියක් ලද ලියැවිල්ලක් අපේ අමාත්‍යාංශය සතුව පවතින්නේ නෑ.
ඒ වගේම මන්ත්‍රි තුමා ඔබතුමා මේ යෝජනාව ඉදිරිපත් කරලා දැන් අවුරුදු 33ක් වෙනවා.ඊට පස්සේ රජයන් කීපයක් පසුවුනා. විපක්ෂ නායකවරයා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා ලෙසත් කාලයක හිටියා. ඒ වගේම සෞඛ්‍ය ඇමතිවරු ගණනාවක් හිටියා.මේ යෝජනවා අවුරුදු 33ක් ඇතුළත දී ක්‍රියාත්මක වුනා කියලා කොහෙවත් සඳහනක් නෑ.
රජයේ සෞඛ්‍ය සේවයේ තනතුරුවලට අදාල නිල ඇඳුම් සම්බන්ධව තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන නිල ඇඳුම් කමිටුව මගින්වන අතර පෞද්ගලික අංශයේ රෝහල් තුළ ක්‍රියාත්මකවන හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම් සම්බන්ධව කටයුතු කිරීමට මෙම කමිටුවේ අදාල කමිටුවක් නෙමෙයි.
හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිම පියවරක් නොමැති අතර යම් කිසිවෙකුට එසේ නිල ඇඳුම වෙනස් කළ යුතු බවට, ඒ කියන්නෙ ක්ෂේත්රයේ සිටින අයට හෝ වෘත්තීය කණ්ඩායමකට, එම යෝජනාවක් අදහසක් පවතිනවා නම් නිල ඇඳුම් කමිටුවට ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන්න පුලුවන්.
නිල ඇඳුම් කමිටුව වෘත්තීය ගරුත්වය, යුනිෆෝම් එකක තියන අදාල වැදගත්කම සහ ප්‍රායෝගික තත්ත්වය සලකා බලලා නිල ඇදුම් කමිටුවට මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න පුලුවන්.



