හෙරොයින් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියගේ සැමියා නොවැම්බර් 12 වැනි දින දක්වා රඳවා තබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබාදී ඇත.
අනුරාධපුර පොලිසිය විසින් අද දහවල් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
ඒ අනුව සැකකරු තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට බලය පවරා ඇත.
සැකකරුගේ බිරිඳ වන මන්ත්‍රී දිස්නා නෙරංජලා, මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක් බවටද පොලිසිය අනාවරණය කළේය.
සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් මේ වනවිට ඊට අදාළ නීතිමය කටයුතු සිදුවෙමින් පවතී.
සිදුවීමට අදාළ දිස්නා නිරන්ජලා කුමාරි පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තේරී පත්විය.
ජාතික ජන බලවේග ආණ්ඩුව රටෙහි මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා මුළු අවධානය යොමුකර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මේ සිදුවීම සමිබන්ධව ඇය පෞද්ගලිකව දැඩි කම්පනයකට ලක් වී ඇති අතර, නීතිමය කටයුතු සඳහා සහය දීමක් ලෙසද රටෙහි යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙන යන වැඩපිලිවෙලට සහයක් ලෙසටද සලකා ඇය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව ජාතික ජන බලවේගයේ වාර්තා සඳහන් කරයි.
ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමුකිරීමට කටයුතු කර ඇති අතර, එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්ට යොමුකර තිබේ.
අත්අඩංගුවට ගත් පාසල් විදුහල්පතිවරයාගේ වත්කම් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේය.
සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝ 1.185 ක් අත්අඩංගුවට ගත් අතර එහි ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 20 ක් පමණ වේ.



