Homeදේශීයඅර්චුනාට, අමල්ට ඇප.උපාලි සහ චම්පිකගේ පෙත්සම් වලට දින

අර්චුනාට, අමල්ට ඇප.උපාලි සහ චම්පිකගේ පෙත්සම් වලට දින

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට ඇප ලබා දී තිබෙනවා.

අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදි ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුගියදා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණි මන්ත්‍රීවරයා පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර ඇති අතර එම සිදුවීම සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී අමල් සිල්වා ඇප මත මුදාහැර තිබෙනවා.

රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් ජීප් රථ 3ක් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ව්‍යාජ ලේඛන භාවිතයෙන් ලියාපදිංචි කිරීමේ සිදුවීමකට අදාළව ඔහු ඊයේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගත්තා.

සැකකරු දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව නියෝජනය කරන අතර බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද වනවා.

සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රාජ්‍ය ආයතනවලට අයත් ලියාපදිංචි කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කරමින් මෙම ජීප් රථ ලියාපදිංචි කර ඇති බවයි.

ලෑන්ඩ් රෝවර් සහ මිට්සුබිෂි යන වර්ගයන්ට අයත් මෙම ජීප් රථ රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුක්ත බව වාර්තා වනවා.

අත්අඩංගුවටගත් සැකකාර නාගරික මන්ත්‍රීවරයා අද පෙරවරුවේ පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ පනහක ශරිර ඇප දෙකක් මත ඔහු මුදාහැර තිබෙනවා. ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි 27 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර සහ වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ පෙබරවාරි මස 27 වනදා කැඳවන ලෙස නියම කළා.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත් කෙරුණු බවයි.

මෙම පත්කිරීම සිදුකරන අවස්ථාවේදී උපාලි පන්නිලගේ මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇති බවත් පෙත්සම්කරු කියා සිටියා.

එම තත්ත්වය මැතිවරණ නීතියට පටහැනි බැවින් උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රි ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.
2016 වසරේ රිය අනතුරක් සිදුකර පළායෑමක් සම්බන්ධයෙන් තමාට එරෙහිව ගොනුකර ඇති චෝදනා අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ගොනු කර ඇති රිට් පෙත්සම නොවැම්බර් 24 වන දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියමකර තිබේ.

අද අභියාචනාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන ඉදිරියේ පෙත්සම කැඳවූ බව වාර්තා සඳහන් කරයි.

ඒ අනුව, පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා, අදාළ පෙත්සම නොවැම්බර් 24 වැනි දින විභාගයට ගැනීමට නියෝග කළේය.

2016 පෙබරවාරි 28 වන දින රාජගිරියේදී අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමෙන් රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනුකර තිබේ.

අධිචෝදනා පත්‍රය ගොනුකළ ආකාරය නීතියට පටහැනි බව පවසමින්, ඔහුගේ නීතිඥයින් ඒවා නිෂ්ප්‍රභ කිරීමට මූලික විරෝධතා මතු කළද, කොළඹ මහාධිකරණය එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර අදාළ නඩුව විභාග කිරීමට නියෝග කළ බවත් පෙත්සම්කරු පවසයි.

පසුව, කොළඹ මහාධිකරණයේ තීන්දුව නීතියට පටහැනි බව ප්‍රකාශ කරමින් එම තීන්දුව අවලංගු කරන ලෙස නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments