ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත හරහා, ඔවුන්ගේ නිල නිවාස ඇතුළු වරප්‍රසාද කිහිපයක් අහෝසි වන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම පනත හරහා නිල නිවාසය, ලේකම් දීමනාව වැන්දඹුවට හිමි විශ්‍රාම වැටුප ආදිය අහෝසි වන බවයි.
නමුත් ජනාධිපතිවරයාට හිමිවන විශ්‍රාම වැටුපට මේ හරහා කිසිවක් සිදු නොවන බව හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළා.
ජනතාවගේ බදු මුදල් හොරා කමින් ජීවත් විය හැකි යැයි සිතන පාලකයන් අතට මෙම පනත පත්වී තිබෙන විට, මෙය අවභාවිතා වූ බවට පෙන්වාදුන් අමාත්‍යවරයා කියා සිටියේ,ඒ අනුව එය අහෝසි කරන බවත්, ආණ්ඩුව මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුව අනුව ක්‍රියා කරන බවයි.
ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති වරප්‍රසාදයක් නිසා, ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන අවස්ථාවක ඒ ගැන සලකා බැලිය හැකි බව හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
”සාමාන්‍යයෙන් රටවල් කිහිපයක් සිංගප්පූරුව, එංගලන්තය ඉන්දියාව සහ එක්සත් ජනපදය වගේ රටවල් ඔවුන්ගේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට යම් වරප්‍රසාදයක් දෙනවා. ඇයි දෙන්නේ, ඔවුන් විශ්‍රාම ගියාම පස්සෙත් රටට යම් පොදු යහපතක් සේවයක් කරන නිසා. දැණ් අපේ කට්ටිය මොකද කරන්නේ, පුතාලට මාළිගාවල් හදලා දෙන්න උත්සහ කරනවා, බලය නැති වෙච්ච දවසේ ඉඳලා ආපහු මේක ගන්නේ කොහොමද කියලා කුරුමානම් අල්ලනවා. මොකක්ද රටට එයාලා දෙන දායකත්වය.
එතකොට බදු ගෙවන මිනිස්සුන්ගේ මුදල්වලට ඒ දේ කරන එක සාධාරණ නැහැ. මෙම තත්වයන් යටතේ අපි තීන්දු කළා, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශෙ දාලා කිව්වා, මේ වගේ වියදම් අපි කරන්න ඕනේ නැහැ. කාටහරි ලොකු ආර්ථික අපහසුතා තියෙනවනම් අපේ ජනාධිපතිතුමාට ලිපියක් ලියලා ඉල්ලන්න. ඉල්ලුවොත් සාධාරණයක් කරයි”