Homeදේශීයමහනුවර නයිට් ලයිෆ්

මහනුවර නයිට් ලයිෆ්

Kandy Breeze Night Fest – We Light Up the City” යන තේමාව යටතේ මහනුවර ප්‍රදේශයේ සංචාරකයින් කේන්ද්‍ර කරගත් රාත්‍රී වෙළඳපොළක් පිහිටුවීමේ නියමු ව්‍යාපෘතියක් අගෝස්තු 16 වැනි දින දියත්කර තිබේ.

ඊට සමගාමීව පැවැත්වෙන රාත්‍රී පොළ දළදා වීදිය සහ කොටුගොඩැල්ල වීදිය ආවරණය වන පරිදි අගෝස්තු 23 සහ 30 මෙන්ම සැප්තැම්බර් 6 යන දිනවල රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වේ.

බොහෝ කලක සිට රාත්‍රී 7 න් පසු අඳුරු නගරයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙන මහනුවර පුරවරය සංචාරකයින් රැඳීසිටීමට කැමති සජීවී ගමනාන්තයක් බවට පත්කිරීම මෙම වැඩසටහනේ අපේක්ෂාව බව සංවිධායකයෝ පවසති.

මෙම ව්‍යාපෘතියේ ආරම්භක දිනයට එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් පැවසුවේ, මෙම වැඩසටහන මගින් මහනුවර “කිසිදා නොනිදන නගරයක්” බවට පත්කිරීමට අපේක්ෂා කරන අතරම සංචාරක ව්‍යාපාරයට සහ සුළු පරිමාණ ව්‍යාපාරවලට ප්‍රබෝධයක් ලබාදෙන බවයි.

විදේශීය සංචාරකයන් රඳවා තබාගැනීම පමණක් නොව දේශීය ව්‍යවසායකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන වඩා හොඳ මිලකට අලෙවි කිරීමට ඉඩ සලසන ආකර්ශනීය අවකාශයක් නිර්මාණය කිරීම අරමුණ බව ද ඔහු පැවසීය.

නියමු ව්‍යාපෘතිය සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක වන නමුත් ප්‍රදේශවාසීන්ගේ සහ විදේශීය සංචාරකයින්ගේ ප්‍රතිචාර අනුව ඉදිරියේදී එය පැවැත්වෙන දින ගණන වැඩිකරන බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments