අනවසර ඉදිකිරීම් බහුලවීම හේතුවෙන් සීගිරිය, ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ දැඩි අවදානමක් පවතින බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ආරක්ෂිත කලාපයේ දැනට පවතින ඉදිකිරීම් සම්බන්ධයෙන් නීති රීති ක්‍රියාත්මක වෙමින් සාකච්ඡා මට්ටමින් පවතින නමුත් අලුතින් ඉදිකිරීම් සිදු කළහොත් ඊට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව මධ්‍යම පළාත් පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විරාජ් බාලසූරිය පැවසීය.
එමෙන්ම ඓතිහාසික ලෝක උරුම සීගිරි පව්වේ පිට දිය අගල සිට සංවේදී යාර දෙසීයේ කලාපය සහ රක්ෂිත යාර හාරසීය කලාපයේ මින් ඉදිරියට කිසිදු ඉදිකිරීමක් සිදු කිරීමෙන් වළකින ලෙසද මධ්‍යම පළාත් පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්යක්ෂවරයා මහජනතාවට දැනුම් දෙයි.
දැනට ඇති අනවසර ඉදිකිරීම් සියල්ල අදියරෙන් අදියර ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කොට තිබෙන බවද හෙතෙම කීවේය.
මේ වන විට සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට එහි සුන්දරත්වය මනස්කාන්ත පරිසර දසුන දිනෙන් දින දෙනෙතින් ඈත් වෙමින් විවිධ ඉදිකිරීම්වල දසුන් දක්නට ලැබීම අනාගත පරපුරට බරපතළ ප්‍රශ්නයක් ඇතිවෙමින් පවතින බවද හෙතෙම කීවේය.
මෙම බරපතළ ප්රශ්නය පිළිබඳව සීගිරිය ප්‍රදේශවාසීන් සහ ස්වේච්ඡා සංවිධාන සමග සාකච්ඡා කොට සීගිරි පුරවරය පොලිතීන් ප්ලාස්ටික්වලින් තොර කලාපයක් බවට පත්කිරීම මෙන්ම සීගිරිය පව්ව ආසන්නයේ ඇති වැව පිළිසකර කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා රාජ්‍ය ආයතන රැසක් සමග සම්මුතින් කිහිපයකට එළැඹ තිබෙන බවද ඔහු සඳහන් කළේය. සීගිරිය ගල් පඩිපෙළ වේගයෙන් ගෙවෙමින් ඇතැයි බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
සංචාරකයන් විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණීම හේතුවෙන් මෙලෙස ගල් පඩිපෙළ ගෙවීමට ලක්ව ඇතැයි කී ඒ මහතා ගල් පඩිපෙළ තව කොපමණ කාලයක් භාවිත කළහැකි දැයි කාල නිර්ණය කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇතැයි ද කීවේය.
සීගිරියේ ගල් පඩි ඉවත්කර ඒ වෙනුවට ග්‍රැනයිට් පඩිපෙළක් යෙදීම හෝ ගල් පඩිවලට ඉහළින් යකඩ පඩි පෙළක් යෙදීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි ද හෙතෙම පැවසුවේය.
මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට හැටක් (60%) ක් පමණ සීගිරිය නැරඹීමට පැමිණෙන බවත්, ලබන වසරේදී (2026) පමණක් සීගිරියට සංචාරකයන් ලක්ෂ 18ක් පමණ පැමිණෙතැයි බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.