Homeදේශීයඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පූර්ණ සහාය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පූර්ණ සහාය

ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා ඉහළම තලයකට ඔසවා තැබීමේදී බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති, විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා පවසවා.

මෙරට සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් සහ වැඩිදුයුණු කර දෙරටටම ආර්ථික ප්‍රතිලාභ අත් කර ගැනීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැතිවරයා ඇතුළු දූත පිරිස මෙරට සංචාරයක නිරතව සිටිනවා.

මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නව පාලනයට සුබපැතුම් එක් කළ උප අගමැතිවරයා නව රජයේ වැඩපිළිවෙළ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උත්සාහය, කැපවීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිළිබඳ පවතින ධනාත්මක ආකල්පය උප අගමැතිවරයාගේ පැසසුමට ලක්ව තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවයි.

අතීතයේ සිදු වූ අයුරින් ආයෝජන අධෛර්යට පත් කරන පරිසරය නැවත ඇතිවීමට ඉඩ නොදෙන බවත්, ආයෝජන ආරක්ෂා කිරීමට නීතිමය ප්‍රතිපාදන සලසන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හා ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට අදාළව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී නියෝජිත කණ්ඩායම දැනුම්වත් කළ ජනාධිපතිවරයා වරාය පර්ය‍න්ත සංවර්ධනය, වරාය නගර සංවර්ධනය, සංචාරක කර්මාන්තය, බලශක්ති ක්ෂේත්‍රය හා ප්‍රවාහන ක්ෂේත්‍ර තුළ ඇති ආයෝජන අවස්ථා පිළිබඳවද කරුණු පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කලාපයේ හොඳම ආයෝජන කේන්ද්‍රය හා සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කිරීම නව රජයේ අරමුණ බවද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments