Homeදේශීයමාර්තු 15 සිදු වන්නේ සත්ත්ව සංගණනයක් නොව සරල සමීක්ෂණයක්

මාර්තු 15 සිදු වන්නේ සත්ත්ව සංගණනයක් නොව සරල සමීක්ෂණයක්

සත්ත්ව – මිනිස් ගැටුම සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය විද්‍යාත්මක විසඳුම් සඳහා යොමු වීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම ඒ ඒ ආයතන වල කාර්යභාරය මෙහිදී වෙන වෙනම සාකච්ඡාවට ලක්වූ අතර වන සත්ත්ව ගැටළුව, ප්‍රමාණවත් මානව හා භෞතික සම්පත් නොමැති කම ආදිය හඳුනාගත් ප්‍රශ්න අතර විය.

මෙහිදී අලි මිනිස් ගැටුම ඇතුළු වගා හානි සිදුකරන අනෙකුත් සත්ත්වයින් වන රිලවුන්, දඬුලේනුන් සහ මොනරුන් සම්බන්ධයෙන් පවතින ගැටුම් පිළිබඳ පැමිණි මන්ත්‍රීවරුන් කමිටුවට පෙන්වා දුන්හ. රිලවුන්, දඬුලේනුන් සහ මොනරුන් බෝවීම වැලැක්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන බවත් එසේ කිරීමට අසමත් වුවහොත් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශාල අර්බුදයක් ඇතිවිය හැකි බවත් මේ අනුව සාකච්ඡා කෙරුණි. සාකච්ඡාව අතරතුර අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා පෙන්වා දුන්නේ මේ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට අපහසු වුවද හැකි ඉක්මනින් විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

එසේම අලි මිනිස් ගැටුම නැවැත්වීම සඳහාද අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත්, අලි ගමන් කරන සීමාවන් හඳුනාගෙන ඇති බවත්, එම ගමන් කිරීම්වලට බාධා ඇතිවී තිබෙන මාර්ග නිරාවරණය කිරීමට කටයුතු කරන බවත් මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසීය. තවද අලි දුම්රියේ ගැටීම නැවැත්වීම වෙනුවෙන් අවශ්‍ය කැමරා පද්ධති සැකසීම ඇතුළු අවශ්‍යවන අනෙකුත් ක්‍රියාමාර්ග සති දෙකක් තුළ ගැනීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.

කාරක සභාව ආරම්භයේදීම අමාත්‍යාංශයේ විෂයපථයට අයත් ඒ ඒ ආයතන සම්බන්ධයෙන් පැමිණි නිලධාරීන් පැහැදිලි කළ අතර ඉතිහාසයේ පළමුවරට පරිසරයට අදාළ සියළු ආයතන එකම අමාත්‍යංශයක් යටතට පත් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් පැසසුම පල විය.

තවද මාර්තු 15 වැනිදා සිදු වන්නේ සත්ත්ව සංගණනයක් නොව සරල සමීක්ෂණයක් පමණක් බවත් නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා මෙහිදී පැවසීය. මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ මේ සම්බන්ධයෙන් කිසිඳු දත්තයක් නැති වපසරියක යම් දත්ත ප්‍රමාණයක් හෝ ලබාගැනීම වෙනුවෙන් පමණක් මෙම සමීක්ෂණය සිදු කරන බවයි. මේ නිසා මෙම උත්සාහය පිළිබඳ උපහාසයෙන් බැලීම සුදුසු නොවන බවද ඒ මහතා අවධාරණය කළේය.

එසේම මෙහිදී නීති විරෝධී වැලි කැණීම් සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ අතර වැලි කැණීම්වලින් 50% පමණ නීත්‍යානුකූල නොවන බව නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පෙන්වා දුන්නේය.

මෙම කාරක සභාව සඳහා සම්බන්ධවෙමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ වනජීවී දෙපාර්තමේන්තුව සතු මිනිස් බලයේ ප්‍රමාණාත්මක බව සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවයි. එසේම වගා රක්ෂණ, ජීවිත රක්ෂණ සහ දේපළ රක්ෂණ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද හෙතෙම කමිටුවෙන් විමසන ලදි. මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පෙන්වා දුන්නේ රක්ෂණ වන්දි දෙගුණකිරීමට රජය කටයුතු කොට ඇති බවයි. එසේ තීරණය කළද සිදුවන ජීවිත සහ දේපල හානි නැවැත්වීම තම රජයේ අරමුණ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments