දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මුහුණදීමට සිදු වූ හදිසි අනතුරුදායක අවස්ථාවකදී වහාම ක්‍රියාත්මක වී ලබා දුන් විශිෂ්ට සේවාව අගය කරමින්, මාර්ගයේ ගමන් ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් 1969 හදිසි මාර්ගස්ථ සහායක කණ්ඩායම වෙත සිය කෘතඥතාව පළ කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ, ඊයේ සන්ධ්‍යාවේ තම බිරිඳ සමඟ ගමන් කරමින් සිටියදී බියජනක අවස්ථාවකට මුහුණ දීමට සිදු වූ බවත්, 1969 අංකය ඔස්සේ කළ එකම ඇමතුමකින් මිනිත්තු කිහිපයක් ඇතුළත එම ස්ථානයට පැමිණි සහායක කණ්ඩායම ගැටලුව නිරාකරණය කිරීමට කඩිනමින් කටයුතු කළ බවත්ය.
එම කණ්ඩායමේ වෘත්තීය මට්ටමේ කාරුණික සේවාව අගය කරන ඔහු, රෝදය මාරුකිරීමට පවා තමාට ඉඩ නොදී, එය ඔවුන්ගේ නිල වගකීමක් නොවන මට්ටමේ පැවතුණද, එම කාර්යයද ඔවුන් විසින්ම සිදුකර දුන් බව සටහන් කර ඇත.
පැයට කිලෝමීටර 100 ක පමණ වේගයකින් ධාවනය වෙමින් තිබියදී වාහනයේ පිටුපස රෝදයේ සිදු වූ මෙම දෝෂයෙන් තමන් ‘නූලෙන් බේරුණු’ බව පවසන ඔහු, අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට පෙර තම වාහනවල රෝදවල තත්ත්වය පරීක්ෂා කර බලන ලෙස අනෙකුත් රියදුරන්ගෙන්ද ඉල්ලීමක් කරයි.



