CVF-V20 ලේකම් කාර්යාලයේ මහලේකම් සහ මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ කථානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ නායකත්වයෙන් යුත් CVF – V20 හි ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් සහ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමඟ විශේෂ ඒකාබද්ධ රැස්වීමක් පසුගියදා පැවැත්විණි.
නියෝජිත පිරිස පිළිගනිමින්, පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අවධාරණය කළේ දේශගුණික සමෘද්ධි සැලසුම් (Climate Prosperity Plans) සඳහා සහාය සහතික කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන න්‍යාය පත්‍රයට කැප වූ වෙනම ආයතනයක් නිර්මාණය කළ යුතු බවයි. මෙම දේශගුණික සමෘද්ධි සැලැස්ම තවත් ප්‍රතිපත්ති ලේඛනයක් පමණක් නොවන බවත්, අවදානම් සහගත තත්ත්වයන් සඳහා, ශ්‍රී ලංකාව ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු බවට පොරොන්දුවක් බවත් සභාපතිවරයා පැවසීය. එසේම යාවත්කාලීන කරන ලද දේශගුණික සමෘද්ධි සැලැස්ම අනුමත කිරීමට, ශක්තිමත් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට කිසිදු භේදයකින් තොරව එකමුතුව කටයුතු කරන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ රජයයෙන් ඉල්ලා සිටින බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති මෙම විශේෂ රැස්වීම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පරිසර අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
CVF-V20 ලේකම් කාර්යාලයේ මහලේකම් සහ මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ කථානායක මොහොමඩ් නෂීඩ් මහතා සිය ප්‍රධාන දේශනයේදී පෙන්වා දුන්නේ දේශගුණික විපර්යාස වර්තමානය වන විට එය මූල්‍ය හා ආර්ථික ගැටලුවක් බවට පත්ව ඇති බවයි. දේශගුණික සමෘද්ධි සැලැස්ම යටතේ, තිරසාර විසඳුම් සහ නව ක්‍රමවේද සොයා ගැනීම ඔවුන්ගේ අරමුණ බවත් ඔහු අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත දේශගුණික විපර්යාස පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ වැදගත්කම පැහැදිලි කළේය.
නියෝජිත පිරිසේ අදහස් දැක්වීමෙන් පසුව, වට මේස සාකච්ඡාවක් ද පැවැත්විණි. අනතුරුව නියෝජිත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ සංචාරයක ද නිරත වූහ.