Homeදේශීයතැපෑල වර්ජනයේ

තැපෑල වර්ජනයේ

තැපැල් වෘත්තීය සමිති 21ක් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනයට තැපැල් ස්ථානාධිපතිවරු, උප තැපැල් ස්ථානාධිපතිවරු ඇතුළු නිලධාරීන් හා සේවකයන් සියයට 97කගේ (17,500) සහාය ලැබී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.

දිවයින පුරා උප තැපැල් කාර්යාල 653 ඇතුළුව සියලු ම තැපැල් කාර්යාල වර්ජනයට සම්බන්ධ වී සිටින බව කී සම කැඳවුම්කරු ලිපි භාර ගැනීම, ලිපි බෙදාහැරීම, මුද්දර නිකුත් කිරීම ඇතුළු සියලු තැපැල් රාජකාරි නතර වී ඇතැයි සඳහන් කළේ ය.

මධ්‍යම තැපැල් හුවමාරුවේ ඊයේ පස්වරු 4:00 සිට ද, දිවයින පුරා සියලුම තැපැල් හා පාලන කාර්යාලවල මධ්‍යම රාත්‍රි 12:00 සිට ද වර්ජනය ක්‍රියාත්මක වන බවද හෙතෙම කීවේය.

සමස්ත උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගෙන් සියයට 75ක් මෙම වර්ජනය සමග එක්ව සිටින බවත්, ඔවුන් සේවය කරන උප තැපැල් කාර්යාලය වර්ජන කාලය තුළ වසා දමන බවත් සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.‍

වර්ජන කාලය තුළ කාර්ය භාර තැපැල් ස්ථානාධිපති මුරපදය යටතේ ‘ඊපේ’ හෝ ‘එම්පේ’ රාජකාරියේ නිරත සියලු ම උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සම්බන්ධතාව අවහිර කිරීමට, පවතින ප්‍රතිපාදන ඉක්මවා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට මුද්දර, මුදල් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ලේබල් නිකුත් නොකිරීමට, විධිමත් ආකාරයකින් තොරව උප තැපැල් කාර්යාලවලට තැපැල් මලු ප්‍රවාහනය හෝ තැපැල් වැසීමට මෙන්ම විධිමත් ආකාරයකින් තොරව ලැබෙන තැපෑලක් භාර නොගැනීමට වෘත්තීය සමිති තීරණය කර ඇතැයි ද ඔහු කීය.

ගැටලු 19කට විසඳුම් ඉල්ලා තැපැල්පතිවරයාට සහ දේශපාලන අධිකාරියට ලිපි යොමුකර සති කිහිපයක් ගතව ඇතත් ස්ථිර විසඳුමක් ලැබී නැතැයි කී හෙතෙම ඒ අනුව ආරම්භ කළ වැඩවර්ජනයට තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරන සියලු සේවකයන්ගේ සහාය ලැබී ඇතැයි ප්‍රකාශ කළේ ය.

තැපැල් දෙපාර්තමේන්තුව තැපැල් සේවකයන්ගේ අතිකාල ගෙවීම් මේ වන විට නතර කර තිබෙන බවත්, තැපැල්පතිවරයා වෘත්තීය සමිති සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුවද දේශපාලන අධිකාරිය සමඟ ඔහු අදහස් හුවමාරු කරගෙන නොමැති බවත් සම කැඳවුම්කරු කීවේය.

තැපැල් පරිපාලනය හා දේශපාලන අධිකාරිය ගැටලුවලට නිශ්චිත විසඳුමක් ලබානොදුනහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවත්, පිළිගත හැකි විසඳුමක් ලබාදෙන තෙක් වර්ජනය අවසන් නොකරන බවත් ඔහු පැවසීය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments